ගරු සභානායකතුමා
ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක
අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා සිය ප‍්‍රාථමික අධ්‍යාපනය තංගල්ල ලිට්ල් ෆ්ලවර් කොන්වන්ට් නම් පාසලෙන් ලබා ගත් අතර ඉන් පසු අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදි. ඉන් අනතුරුව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වන තෙක් පෞද්ගලික බැංකුවක විදෙස් මුදල් අංශයෙහි සේවය කරමින් සේවා අත්දැකීම් ලබා ගෙන ඇති අතර 1995 වර්ෂයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය.
1989 වර්ෂයේ පටන් ජනතා විමුක්ති පෙරමුණෙහි ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධවී දේශපාලන කටයුතු වල නිරත වූ අතර 1996 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පූර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ විය. 1998 වර්ෂයේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස පත්වූ එතුමා එම වසරේදීම වයඹ පළාතේ පළාත් සභා මැතිවරණයට ප‍්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා අපේක්ෂක කණ්ඩායමේ කණ්ඩායම් නායක වශයෙන්ද කටයුතු කරන ලදි. ඒ අනුව 1999 වර්ෂයේ ජනවාරි මස එතුමා වයඹ පළාත් සභාවට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය.
තවද ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක වශයෙන්ද කටයුතු කරමින් සිටි එතුමා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාව නියෝජනය කරමින් 2000 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2000 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කමිටුවට ද, 2001 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවටද එතුමා තේරී පත්විය. 2001 වර්ෂයේදී නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එතුමා 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේ ක‍්‍රියාවලිය තුළ ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ප‍්‍රමුඛතාවය ගෙන ක‍්‍රියාකරන ලදි. නැවත 2004 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ එතුමා කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශුසම්පත් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.
2008 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානය වන සමාජවාදී තරුණ සංගමයේ ආරම්භක ජාතික සංවිධායක ලෙස පත්විය. 2014 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙහි සාමාජිකයෙකු වශයෙන් තේරී පත්වූ එතුමා එම පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙසද පත්විය. ජනතා විමුක්ති පෙරමුණෙහි ජාත්‍යන්තර සබඳතා කමිටුවෙහි අරම්භයේ සිටම සාමාජිකයෙකු වූ එතුමා 2015 වර්ෂයේ සිට එම පක්ශයෙහි ජාත්‍යන්තර සබඳතා අංශයෙහි ප‍්‍රධානත්වය හොබවනු ලබයි. එසේම 2015 වර්ෂයේ සිට එතුමා ජනතා විමුක්ති පෙරමුණෙහි උතුරු පළාත් සම්බන්ධීකරණය ද සිදු කරනු ලබයි.
2015 වර්ෂයේදී නැවත ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් එතුමා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ කාලසීමාවන්හිදී මහජන ප‍්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ලා ඉතාම ක‍්‍රියාශීලී කර්ය භාරයක් ඉටුකල එතුමා උසස් නිලතල පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාව ආදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වල ක්‍රියාකාරීව කටයුතු කරනලදි. තවද පාර්ලිමේන්තු කාන්තා සංසදයේ කටයුතු වලට සහයෝගය දක්වමින් කටයුතු කල එතුමා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වය ද දරණ ලදි. තවද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට අදාල ගැටළු සම්බන්ධීකරණය කිරීමේ වගකීම දැරූ අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද එතුමා කටයුතු කරන ලදි. 2015 -2020 කාලය තුළ එතුමා පාර්ලිමේන්තු සභාපති මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ඉන්දියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රාජ්‍යයන්හි පැවති පුහුණු වැඩසටහන් සඳහා ද සහභාගී විය. තවද 2015 වර්ෂයේ පලස්තීන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ ලේකම් ලෙස ද, කියුබානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ ලේකම් ලෙසද කටයුතු කල එතුමා චීන - ශ්‍රී ලංකා, රුසියානු - ශ්‍රී ලංකා, වියට්නාම් - ශ්‍රී ලංකා සහ ඉරාන - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව සංගම් වල සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරන ලදි. තවද එතුමා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටු වීමේ පනත සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කල අතර විවිධාකාරයෙන් අසාධාරණයන්ට සහ කොන්වීම්වලට ලක් වූ ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද පෙනී සිටින ලදි.
ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සම්මේලනය, ලෝක සාම කවුන්සිලය, කොමියුනිස්ට් සහ වැඩකරන ජනතා පක්ෂ වල ජාත්‍යන්තර හමුව යන සංවිධානවල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එතුමා කටයුතු කරන ලදි. 2015 වර්ෂයේ පිහිටුවන ලද වියට්නාම මිත‍්‍රත්ව පදනමේ සභාපතීත්වය දරණ ලද අතර 2022 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා සංවිධානයේ සම සභාපතීත්වය ද හොබවනු ලබයි.
2019 වර්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ ද එක්ව ගොඩනගන ලද ජාතික ජන බලවේගය නමැති දේශපාලන පක්ෂයේ ජාතික විධායක සභා සමාජිකයෙකු ලෙස කටයුතු කරන එතුමා 2024 පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් විය. එතුමා වත්මන් ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ සභානායක වශයෙන් කටයුතු කරමින් සිටී.
ඉක්මන් සබැඳි
- රජයේ අන්තර්ජාල බිහිදොර
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය
- රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
- නීතිපති දෙපාර්තමේන්තුව
-
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය